The Terminal.....


පැයක් දෙකක් නැත්තම් තුනක් එයාපෝට් එකක ඉන්න වුනොත් කොච්චර අපහසු අප්‍රියකර දෙයක්ද... මට උපරිම එයාපෝට් එකක බලන් ඉන්න වුනේ චෙන්නයි එයාපෝට් එකේ.. පැය හතක් මට බලං ඉන්න වුණා,දිල්ලි යන්න ෆ්ලයිට් එක ගන්න... ඒ බලා ඉදීම මගෙ ජීවිතේ එපාම කරපු බලා ඉදිල්ලක්.. එහෙට මෙහෙට ට්‍රොලි තල්ලු කරං යන මිනිස්සු, චෙකිං වලට බෝඩිං වලට අනවුන්ස් කරන ඒවා , ඕපදූප කියව කියව ඉන්න මිනිස්සු තව නොයෙක් දේවල් බලං ඉන්න කොහෙත්ම ප්‍රියතාවයක් නැති දේවල්... මට ආයෙ නම් එවන් අවස්තාවක් උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...

මේ ලියමනට මාතෘකාව ගත්තෙ 2004 ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලදුව හොලිවුඩ් සුපිරිම නලු ටොම් හැංක් රංගනයෙන් දායක වෙච්ච The Terminal නම් අති සාර්ථක සිනමා පටයෙන්...
ක්‍රකෝසියා නම් රටකින් එක්සත්ජනපදයට එන වික්ටර් නවොස්කි නම් ගුවන් මගියා නිව්යෝක් එයාපෝට් එකේ හිර වෙන්නෙ ක්‍රකෝසියාවේ ඇති වුණ අර්බුධ හේතුවෙන් ක්‍රකෝසියාවෙන් එක්සත් ජනපදයට පුද්ගලයන් පැමිනීම තහනම් කිරීමත්, එක්සත් ජනපදයෙන් ක්‍රකෝසියාවට වීසා දීම තහනම් කිරීමත් හේතුවෙන්..මේ හේතුවෙන් මාස නමයක් තිස්සේ එයාපෝට් එකේ හතර සීමාව තුළ ජීවත් වෙන්න සිද්ද වෙච්ච වික්ටර් ගෙ අනුවේදනීය කතාව තමයි මෙම සිනමාපටයෙන් කියන්නෙ...
මේකට පාදක වුනේ වසර දහ අටක් පැරීසියේ එයාපෝට් එකක සිරව සිටි මෙහරන් කරීම් නසේරි නම් ඉරාන ජාතිකයාගෙ කතාවයි.. කරීම් ගේ කතාව මා දැන් කියන්න උත්සාහ නොගන්නෙ එය අතීතයෙ සිදු වුණ දෙයක් නිසයි...
https://en.m.wikipedia.org/wiki/Mehran_Karimi_Nasseri

වසර දහහතරකට පස්සෙ පුද්ගලයෙක් ටොම් හැංක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා, ඔහුගෙ ශෝක ජනක කතාව කියලා ටොම් හැංක් ගෙන් උදව්වක් ගන්න..නමුත් ඔහුගෙ ඉල්ලීම ටොම් හැංක් වෙත ගියාද කියන්න මම දන්නෙ නෑ..
මේ පුද්ගලයා තමයි මැලේසියාවේ කුආලාලම්පූර් එයාපෝට් එකේ හිරවී සිටින හසන් අල්-කොන්තාර් නම් වූ සිරියා ජාතිකයා...
මේ ලියන මොහොත වන විටත් ඔහු මැලේසියාවෙ සිරවී සිටිනවා.. 2018 මාර්තු මාසෙ ඉදලා ඔක්තෝබර් මාසෙ වෙනකල් ඔහු කුආලාලම්පූර් එයාපෝට් එකේ සිරව සිටියා සහ පස්සෙ ඔක්තොබර් මාසෙ මැලේසියනු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දුන්නා...
හසන් අල් කොන්තාර් කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රක්ෂණ ආයතනයක සේවය කල පුද්ගලයෙක්.. මෙම පුද්ගලයා එහි සේවය කරමින් ඉන්න අතරෙ 2011 දී සිරියාවේ යුධ අර්බුධ ඇති වෙනවා... මේ අවස්ථාවේ සිරියාවෙන් දැනුම් දෙනවා හසන් ට සිරියන් යුධ සේවයට එක් වන ලෙස..නමුත් එය ට කොහෙත්ම අකමැති වුණ හසන් එමීර් රාජ්‍යයේම රැදී සිටිනවා.. මින් පලි ගැනීමට 2012 හසන් ගේ පාස්පෝට් එක එක්ස්පයර් වෙන වෙලාවේ සිරියාවෙන් ඒක රිනීව් කරන්නෙ නෑ...

මේකත් එක්ක හසන් ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා..පාස්පෝට් එක රිනීව් නොවන නිසා එමීර් රාජ්‍යයේ වැඩ කිරීමට හසන් ගෙ වර්ක් පර්මිට් එක රිනීව් වෙන්නෙත් නෑ...ඉතිං හසන් ට සිද්ද වෙනවා එක්කො ආපහු සිරියාවට යන්න, නැත්තම් එමීර් රාජ්‍යයේම හොරෙන් රැදී සිටින්න.. සිරියාවට ගියහොත් ඔහුට දඩුවම් විදීමට සිදු වේයැයි යන බිය නිසා ඔහු දෙවන විකල්පය තෝර ගන්නවා.. ඒ අනුව ඔහු වසර හයක් තිස්සේ එමිර් රාජ්‍යයේ එහෙට මෙහෙට කට්ටි පනිමින් නීතී විරෝධී පුද්ගලයෙක් ලෙස ජීවත් වෙනවා.. නමුත් 2017 අවසානයේ ඔහු බලධාරින්ට හසු වෙනවා.. ඔවුන් හසන් ව මැලේසියාවට එවන්නෙ මාස තුනක තාවකාලික වීසා මත.. මැලේසියාව යනු සිරියානු ජාතිකයන්ට පැමිණීමෙන් පසු වීසා නිකුත් කරන රටවල් කිහිපයෙන් එකක්..එම වීසා මත මැලේසියාවට පැමිණෙන ඔහු සිරියානුවන්ට පැමිණි පසු වීසා නිකුත් කරන තවත් එක් රටක් වන කාම්බෝජය බලා ගියත් කාම්බෝජයෙන් ඔහුව නැවත හරවා එවනවා.. පසුව ඔහු ඉක්වදෝරය බලා යාමට ටර්කිෂ් එයාලයින්ස් ටිකට් එකක් ගන්නෙ ඔහු සතුව තිබුණ මුදල් වලින්...නමුත් හසන්ව ටර්කිෂ් එයාලයින්ස් ෆ්ලයිට් එකට බාර ගන්නෙත් නැත්තෙ ඔහු සිරියානු ජාතිකයෙක් නිසා...
ඉතිං අසරණ හසන්ට සිදු වෙනවා කුආලාලම්පූර් එයාපෝට් එකෙම රැදෙන්න.. මෙහෙම ඉන්නකොට එයාගෙ මාස තුනේ වීසා කාලය ඉවර වෙනවා.. දැන් හසන්ට එයාපෝට් එකෙන් මොනම ආකාරයකටවත් එලියට යාමට හැකියාවක් නෑ.. ඉතිං ඔහුට සිද්ද වෙනවා දිවා රෑ දෙකේම එයාපොට් එක බෝඩිමක් කරගෙන ඉන්න...ඔහුට කන්න බොන්න ලැබුණෙ කාරුණික සේවකයන්ගෙන් සහ මගීන් ගෙන්..එකත් හැමදාම එකම කෑම ජාතිය...

ඔහු සිය ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් වල ඔහුගෙ අසරණ දිවිය ගැන නිතර සටහන් කරන්න පටං ගත්තා..
පැය හතක් තිස්සෙ එයාපෝට් එකක කලබල කාරී මුත් කම්මැලි කම ඉවසගෙන ඉන්න බැරි වුන මට හසන් ගේ ජීවිතය කෙසේ ගෙවෙනවාදැයි හිතා ගන්නත් අමාරුයි...

"I am just counting days here, with no hope"

වතාවක් ඔහු එසේ ට්විටර් ගිණුමේ සදහන් කරනවා...

“I don’t know why I keep doing these videos; maybe somewhere deep inside my feelings or my heart I need someone who cares, someone who may [be] able to help, [but] somewhere I know it’s hopeless. It’s a false hope.

“I don’t know what to do. It seems like it will be my home for a while.

“It’s a difficult situation. There’s no place to shower, there’s no place to sleep. I’m even sick but there is no medicine.”

During the video, he was interrupted by chimes signalling an announcement over the airport PA system.

“This sound, I swear — I hate this sound,” he said with the frustration of a person who has been stuck in an airport for way, way too long. “It’s everywhere, day and night.”

මා පෙර කී ලෙසම ඔහු ටොම් හැංක් ව සහ ලෝ ප්‍රකට දේශපාලකයන් සහ තවත් පුද්ගලයන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ මේ අතරෙදියි...බලපුලුවන්කාරයන් ගේ අවධාණය යොමු නොවුණත් ඔහුගේ මෙම සටහන් නිසා ලොව පුරා සාමාන්‍ය පුද්ගලයන් විශාල පිරිසකගේ අවධානය ඔහු වෙත යොමු වෙනවා.. ඔවුන් ඔහු වෙනුවෙන් ඔන්ලයින් පිටිෂන් එකක් පවා සූදානම් කරනවා..
මේ අතරේ කැනේඩියානු ජාතික ලෝරී කූපර් නමැත්තිය ඔහුට මුදල් එවන්නෙ ආහාර පාන ලබා ගැනීමටයි..ඇය කැනඩාවේ හසන් වෙනුවෙන් ක්‍රියා කරනවා..ඔවුන් බලධාරීන් හමුවී උත්සාහ ගත්තේ හසන්ව කැනඩාවට ගෙන්වාගෙන කැනඩාවේ විස්ට්ලර් හි නවාතැනක් සහ රැකියාවක් ලබා දීමටයි (ඔවුන්ට ඔහු ගෙන්වා ගැනීමට හැකි වුවහොත්)...
වතාවක් ඔහු පවසා සිටියේ ඔහුගේ වීඩියෝවක් දුටු මව බොහෝ සේ කනගාටු වූ බවත් ඔහුගේ රැවුල වැවුනු පෙනුමට ඇය අකමැති වූ බවත්ය.. එය කොතරම් හැගීම් බර අවස්ථාවක් වූවාදැයි නිර්ණය කිරීමට හැකියාව මට නෑ...

ඔහු කන්න බොන්න වුනේ එයාපෝට් එකේ, නිදා ගත්තෙ එයාපෝට් එකේ බිම හෝ පුටු වල... නෑවෙ මහ රෑ ,මගීන් අඩු වුනාට පස්සෙ එයාපෝට් එකේ පොදු වැසිකිලි වල...
මෙහෙම හිටපු හසන්ව ඔක්තෝබර් මාසේ එයාපෝට් එකෙන් අයින් කරලා ආගමන විගමන බලධාරින් ට බාර දෙනවා..
ඉන් පසූව කුමක් වූවාදැයි කියන්න මම හරියටම් දන්නෙ නෑ...
කොහොම වුණත් තමුන්ගෙ මවු බිමින් වෙන් වෙලා , මෙහෙම ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක, හිර වෙලා එකාකාරි දිවිපෙවෙතක් ගත කරන්න වෙන එක මේ ලෝකෙ වෙන්න තියෙන අවාසනාවන්තම දේවල් වලින් එකක්...
මෙහරන් ට මෙන් හසන්ට වසර ගාණක් මෙසේ ඉන්න සිද්ධ නොවේවා යන්න මගෙ ප්‍රාර්ථනාවයි...

- අමිල-






Gallery








භාරතයේ විත්ති - 30 - 'චෙස් ගම'


ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය මෑතකදි ලාංකික සිනමා රසිකයන් අතර ජනප්‍රිය වෙන්න ගත්තෙ එහි තිබෙන කතා රසයෙන් අනූන මලයාලම් සිනමාව නිසාමයි... ඉතිං මේ මලයාලම් සිනමාපට නරඹපු අය දන්නව කේරළ ප්‍රාන්තය කියන්නෙ කොච්චර ලස්සන ප්‍රාන්තයක්ද කියන එක...
ඇරපු අතක් නෑ ලංකාව වගේ පළාත් දෙකක් ඉන්දියාවෙ තියෙනවා..එකක් ගෝව අනික තමයි කේරළ ප්‍රාන්තය... පොල් වතු කෙසෙල් වතු පිරිච්ච සරුසාර බිමක්  කේරළය..
මේ කේරලය ගැන වර්ණනාවක් නෙමේ..කේරලයෙ ඉතා කුඩා ගමක් ගැන වර්ණනාවක්..
ඒ ගම තමයි මරොට්ටිචල්..

මරොට්ටිචල් කිවුව ගමං සංචාරකයන්ට නම් මතක් වෙන්නෙ අති සුන්දර මරොට්ට්චල් දිය ඇල්ල සහ විශාල වනාන්තර...මේ කියන්න් යන්නෙ ඒවා ගැනත් නෙමේ...



උන්නික්‍රිෂ්ණන් මරොට්ටිචල් වලට එන්නෙ මීට අවුරුදි පණහකට විතර කලින් ගැටයා කාලෙ..ඒ වෙළදාමක් පටං ගන්න.. 
                       (Unnikrishnan)

ඔහු මරොට්ටිචල් වල හොද තැනක් බලලා පටං ගන්නවා කඩයක්... එක පැත්තකින් දාන්නෙ තේ කඩයක්... මේ කාලෙ වෙනකොට මරොට්ටිචල් වල මිනිසුන් ඔවින් විසින්ම සකසා ගත් මත් පැන් සහ ගංජා භාවිතයට අධික ලෙස ඇබ්බැහි වී ගම විනාශ වෙමින් තිබුණා..උන්නික්‍රිෂ්ණන් මේ අබග්ගයෙන් ගම මුදව ගන්න විදිහක් හිතුවා.. උන්නික්‍රිෂ්ණන් කියන්නේ ඒ කාලේ ඇමරිකානු ජාතික චෙස් ශූරයෙක් වුණ Bobby Fischer ගැන ලිපියකින් කියවා ඒ අනුව ඇති වුන ආශාව නිසා චෙස් උගෙන සිටි ග්‍රාමීය චෙස් ශූරයෙක්.උන්නික්‍රිෂ්ණන් දැන සිටියා එක් ඇබ්බැහියකින් මිනිසුන් මුදවීමටනම් ඉන් ඇති වන හිස්තැන පිරවීමට වෙනත් විකල්පයක් තිබියයුතු බව..එය ,ගම කබලෙන් ලිපට ඇද නොදමන ඉතා ම හොදම විකල්පයත් විය යුතුයි..ඔහු කලේ චෙස් බෝඩ් එකක් ගෙනැත් කඩෙන් තියල එන එන ගණුදෙණු කරුවාව බලෙන් හෝ අල්ලගෙන චෙස් ක්‍රීඩා කරන්න පොළඹවපු එක... 


ඉන්දියාවේම හය වෙනි සියවසේදී පමණ උප්පත්තිය සිදු වුණා යැයි කියන චෙස් ඔවුන්ගේ ජාන තුළ තිබෙන්නට ඇති.. ඒ නිසා ආරම්භය ගැමියන් හයසියයකින් පමණ සිදුවී  90% කට අධික ගම්මුන් පිරිසක් ඉබේම චෙස් ක්‍රීඩාවට හුරු වුණා... හුරු වීම කොතෙක්ද කිවහොත් එය ඇබ්බැහි වලිනුත් උච්චතම ඇබ්බැහිය වී අනිත් සියලුම ඇබ්බැහි කම් යටපත් වුණා..ඒ කියන්නෙ ගම්මුන් වෙලාගෙන සිටි බීමත් කම සහ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය ගමෙන් ඉවත් වුණේ කාටත් නොදැනීම... උන්නික්‍රිෂ්ණන් ගේ උපායෙන් චෙස් විසින් මරොට්ටිචල් මුදව ගත්තේ ඒ විදිහට... ඉනුත් අවුරුදු පණහකට පස්සෙ අද වෙනකොට මරොට්ටිචල් වල සිටින ගම්වැසියන් 6000 කගෙන් 4000කට අධික පිරිසක් චෙස් ක්‍රීඩාවේ ශූරයන්..ඔවුන් ඒ සදහා වෙනම සංගමයක් පවා ඇතිකරගෙන තිබෙනව...
වයස් බේදයකින් තොරව කුඩා දරුවන් ගේ සිට මහල්ලන් දක්වා චෙස් ක්‍රීඩා කරනවා..

සාමාන්‍යයෙන් කම්මැලි ක්‍රීඩාවක් ලෙස සැළකෙන චෙස් ක්‍රීඩාව මෙතරම් ප්‍රචලිත වුණ වෙනත් ගමක් ඉන්දියාවෙ තබා මේ ලෝකයේ වෙනත් තැනක තිබෙණවාද කියන එක හිතන්න අපහසුයි...

Marottichl village කියලා ජාලයේ සෙවුව සැණින් ඔබට දකින්න ලැබෙන්නෙ හැම තැනම චෙස් ක්‍රීඩා කරන අයගේ පින්තූර මිස ග්‍රාමීය දර්ශණ නොවෙයි.

මුල් කාලීනව පාසල් වලට චෙස් හදුන්වා දීමේදි සංගමය විසින් චෙස් බෝඩ් කිහිපයක් පාසල් වලට ලබා දුන්නා... මාස කිහිපයකට පසු ප්‍රගතිය පිරික්සීමට ගිය සංගම් සාමාජිකයන් පුදුම කරමින් පාසල් වල ළමුන් 90% පමණ දෙනා දෛණික පාසල් උපකරණයක් ලෙස චෙස් බෝඩ් එකක් රැගෙන ඒමට පුරුදු වී සිටියා...
ඔවුන් රූපවාහිණී වලට හෝ දුරකතන වලට ඇබ්බැහි වී නෑ..දුරකතන භාවිත කරන්නන් පවා ඇබ්බැහි වී සිටින්නේ දුරකතනයෙන් පවා චෙස් ක්‍රීඩා කිරීමටයි..
මොලයේ ක්‍රියාකරීත්වය වර්ධනයට  උපකාරී වන ක්‍රීඩාවක් ලෙස චෙස් ක්‍රීඩාවට ඇබ්බැහි වීම නරකක් විය නොහැකියි.
උන්නික්‍රිෂ්ණන්ගේ කඩයේ තිබෙන රූපවාහිනියත් භාවිතයට නොගෙන දුඹුළු බැදෙමින් තිබෙනවා...
බස් නැවතුම් පොල ඉදිරිපිටම තිබෙන උන්නික්‍රිෂ්ණන් ගේ කඩයට ගොඩ වෙන රියදුරන් සහ කොන්දොස්තර වරුන් පවා ඊලග ගමන් වාරය එළඹෙන තුරු චෙස් ක්‍රීඩා කිරීමට පුරුදු වී සිටිනවා...උන්නික්‍රිෂ්ණන්ගේ කඩ පිලේත්, නිවසේ ආලින්දයේත් චෙස් බෝඩ දහයක් පහළවක් තබා තිබෙන අතර නිතරම ඒවා කර්‍යය බහුලත්වයි...

 
ඉන්දීය චෙස් ශූර විශ්වනාත් ආනන්ද් චෙස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කිසිදු ප්‍රතිඋපකාරයක් බළාපොරොත්තු නොවී ඔවුන් කරන මේ ක්‍රියාව පැසසුවා..


2013 තිරගත වුණ August club මලයාලම් සිනමාපටයෙත් මේ ගමේ චෙස් ක්‍රීඩාවට ඇති ආදරය පෙන්මට නිර්මාපකයන් කටයුතු කරලා තිබුණා..

ඉතිං සිද්ධ වෙන්න ගිය විශාල විනාශයකින් ගමක් මුදවා ගැනීමට උන්නික්‍රිෂ්ණන්ගේ උපායත් චෙස් ක්‍රීඩවත් සමත් වීම කොතරම් වටිනවාද... ඉන්දියාවේ ප්‍රාන්තයක කුඩා ගමක් ලෝක ප්‍රකට වන්නේ අන්න ඒ නිසාමයි....
නැවත හමු වෙමු..

- අමිල -

කදුකරයේ ගීතය




ටිකකට දෑස් වඩා ගන්න... ඉන් පසු හිතින් මවා ගන්න ඔබ ඉන්නේ උතුරු යුරෝපයේ නොර්වේ ...ස්වීඩන් වගේ රටක ගම්මාන ප්‍රදේශයක කියලා...
තැන් තැන් වල පුංචි පුංචි මල් පිපිච්ච විශාල තණ පිට්ටනි... ඈතින් පෙනෙන ;මේපල්,ඕක්,එල්ම් ,පයින් වගේ ගස් වලින් පිරිච්ච වනාන්තර ... මීදුම් බර ගුප්ත පරිසරය...තැන් තැන් වල ඉන්න හරකුන්... මේ පරිසරය හිතා ගන්න අමාරු නම් තරමක් දුරට සමාන අඹේවෙල පරිසරය හිතට නගා ගන්න... දැන් ඔන්න ඔබට ඇහෙනවා ඈතින් උච්ච ස්වරයෙන් කාන්තා ගී නාදයක්... හරියට යූඩ්ල් කරනවා වගේ තාලයකට ගැයෙන මියුරු නාදයක්... ෆ්‍රසන් මූවි එක බලල තියෙන අය හිතට නගා ගන්න ඒක පටං ගනිද්දියි අතරින් පතර තැන් තැන් වලයි , ආනා ගෙ කිරුලු පැලදීමෙ උත්සවය වෙලාවෙයි පසු බිමින් ඇසුනු... කාන්තා නාදයන්...
https://www.youtube.com/watch?v=1TXc2JbCjmwlist=PLMaG5v9sPuzRshxx_7o5Z7TCZT9g98yYt

මේ සංගීතය යටි ගිරියෙන් කෑ ගහනවා කියලා අපි කියන එකට තරමක් සමානයි .. .. 

මට තේරෙනවා මෙහෙම දැම්මට ඔය දේවල් හිතා ගන්න අමාරුයි කියලා..මොකද ඔය කියන කාරණා කලින් අහලා විදලා නැති අයට ඔය නාද හිතා ගන්න අමාරුයි... කොහොම වෙතත් ඔය විස්තර කරපු පරිසරයල ඒ වගේ කාන්තා නාදයක් ඇහෙද්දි හිතට දැනෙන්නෙ අපූරු ගුප්ත සුන්දරත්වයක්...


ඒ සුන්දරත්වය සත්‍ය වශයෙන්ම විදින්න පුලුවන් ස්වීඩන් වල ඩලර්නා (Dalarna) හා හොල්සිංලන්ඩ් (Halsingland) කියන පළාත් වල සහ පෙර නෝර්වේ වලට අයත්ව තිබුණ ස්වීඩන් පළාත් වන Jamtland හෝ Harjedalen කියන පළාත් වල දී...

ස්වීඩන් වලදි නම් මේකට කියනවා kulning, herding , laling හෝ lalning  කියලා...නෝර්වේ වලදි කියන්නෙ kauking එහෙමත් නැත්තම් kaukning කියලා...

මේ ස්කැන්ඩිනේවියානු රට වල ජන කලාවක්...නමුත් මේ වෙනකොට අහන්න ලැබෙන්නෙ ස්වීඩන් වල පෙර කී පළාත්වලදි තමයි...වැඩි වශයෙන් කාන්තාවන් තමයි මේ නාද කරන්නෙ... මොකටද?... උදේ ගාල් වලින් පිටත් කරපු ගවයන් , එළුවන් ,බැටළුවන් නැවත කැදවන්න... වෘකයන් බිය වද්දලා එලවන්නත් මේ නාදයන් භාවිතා කරනවා...
මටනම් මෙය ඉතාම සොදුරු, ගුප්ත බවකින් ඇගම වෙලා ගන්නා නාදයක්...ඒක ඇස් පියාගෙන අහද්දි ඉබේම මට දැනෙන්න මාත් ඒ වගේ ගුප්ත සීතල පරිසරයක තනි වෙලා ඉන්න අතරේ ඈතින් ඒ හඩ ඇහෙනවා වගේ.. පහතින් දමා ඇති ලිංක් වල තියෙන වීඩියෝ නරඹන්න...

සෑහෙන ප්‍රදෙශයකට ඇසෙන විදිහට හයි පිච් හෙඩ් ටෝන් වලින් තමයි මේ ගායනාවන් කරන්නෙ...ඒ හඩ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ට දායද වුණ එකක්...
සතුට, දුක වගේ හැගීම් ප්‍රකාශ කරන්න වෙනස් වෙනස් විදිහට මෙම නාද භාවිතා කරනවා...
කාන්තාවන් විසින් මෙම ගායනයන් කරනවිට එය අවට ඇති වනාන්තර සහ කදු වැටි වල දෝංකාර දෙමින් ඈතට ඇහෙනවා..තම ස්වාමිදුවගේ හඩින් මේ නාද ඇසෙන විට සැතපුම් ගාණක් එහායින් සිටියද ගවයින් ,එළුවන් ඇය වෙතට එන්න හුරු වෙලා ඉන්නවා...ගවයන් එලුවන්ගේ ගෙල බැදි සීනූ ගැටෙමින් නිකුත්වන නාදයෙන් ස්වාමිදුව දැන ගන්නවා ඔවුන් තමා වෙත එමින් සිටින බව...
එක් එක් පවුල් වෙලට ආවෙව්ණික වුන නාදයන් භාවිතා කිරීමටත් ඔවුන් හුරුව සිටියා.එවිට ඒ ඒ පවුල් වලට අයත් ගවයන් ,එළුවන් ඒ ඒ නාදයන් අදුනා ගැනීමට සමත් වෙනවා...

භාෂාවේදියෙක් වන රොබර්ට් ඉක්ලුන්ඩා, ඇනීට මැකැලිස්ටර් සහ කල්නිං ගායිකාවක් වන ෆැනී පෙර්සොන් විසින් පරීක්ෂණයක් කලා.. ඔවුන් කල්නිං නාද වල සහ සංගීත විෂයේ ඉගැන්වෙන head voice යන දෙක අතර වෙනස අධ්‍යයනය කිරීමටයි මෙම පරීක්ෂණය කරන්නේ.. එහිදි ඔවුන් මෙම දෙවර්ගයේම නාද කාමරයක් තුළ සහ ඩලර්නා හි විශාල විවෘත ප්‍රදේශයක ගායනා කරමින් (ගායනාවන් දෙකම සිදු කලේ ෆැනී විසින්) පටිගත කලා... පසුව කල විශ්ලේෂණයන්ට අනුව කල්නිං ගායනයන් හි පරාසය head voice හි පරාසයන්ට වඩා සෑහෙන ඉහල මට්ටමකින් තිබෙන බව ඔවුන් සොයා ගත්තා (16Khz පමණ)...එපමණක් නොවේ ගායනය උපදින තැනින් දුරස්ථ බව වැඩි කරමින් පටි ගත කල ඒවායේ කල්නිං ගායනයන් හි පැහැදිලිතාවය head-voice ගායනයන්හි පැහැදිලිතාවයට වඩා වැඩි බව ඔවුන් නිරීක්ෂණය කලා...

මම ලිපිය ආරම්භයේදී ෆ්‍රසන් සිනමාපටයේ නාදයන් සිහියට නග ගන්න කිවුවේ ඇයි..එම සිනමාපටයේ සංගීතය නිර්මාණයේදීත් මෙම කල්නිං නාද යොදාගෙන තිබෙන නිසයි...මීට අමතරව නෝර්වේජියානු සංගීතවේදියෙක් වන එඩ්වර්ඩ් ග්‍රිග් ඔහුගේ ශාස්ත්‍රීය සංගීත කටයුතු වලදී පියානෝ නාද මාලාවන් සහ  ඔපෙරා  සදහා බහුලව කල්නිං යොදා ගන්නවා...

පහල දමා තිබෙන ලිංක් වල තිබෙන කල්නිං නාද අසන්න...

https://www.youtube.com/watch?v=KvtT3UyhibQ
https://www.youtube.com/watch?v=nFfEg4Kg4hM
https://www.youtube.com/watch?v=KKImmIQ4omQ
https://www.youtube.com/watch?v=VNBVywLvu7k
https://www.youtube.com/watch?v=QGJgP28Yso4


- අමිල-

කොළඹ වීදියකදී.....16- "වළව්වේ පංසල"

ඒ ලන්දේසි කාලෙ...මේ කාලේ කොළඹ ලන්දේසි බල ප්‍රදේශය තුල පංසල් ඉදිකරන සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණ කාලයක්...ඉතින් බෞද්ධයන්ට වැද පුදාගන්න දුර ගෙවාගෙන කැළණිය, පැපිලියාන,නැදිමාල,බෙල්ලන්විල වගේ ඈත පළාත්වල තිබුණ විහාර වලට යන්න සිද්ද වෙලා තිබුණා..

මේකාලෙ කොළඹ කොටහේන කියන්නෙ තරමක් ධනවතුන් වාසය කරපු ප්‍රදේශයක්.
රටගිය මුදියන්සේ නොහොත් සවියෙල් තාබෲ උභයකුලතුංග විජේසිරිවර්ධන මුදලි තුමා කොටහේනේ තමුංගෙ වළව්වෙ වාසය කලේ මේ කාලෙ. මුන්නැහේ ලන්දේසි සමග ලගින් සම්බන්ධකම් පවත්වපු නිසා ඒකාලේ හිටපු ලන්දේසි ආණ්ඩුකාරයා වෙච්චි වං එංගල් බෙක් ව කැමති කරව ගන්න සමත් වෙනවා, තමුංගෙ වළව් වත්තෙම පොඩියට පංසලක් හදන්න...
ඔය විදිහට 1785 කොටහේනෙ හැදෙන වළව්වෙ පංසල මුදලි තුමා බාර දෙන්නෙ සීනිගම උන්නාන්සෙ නමින් හදුන්වපු 'සීනිගම ධම්මරක්ඛිත' හාමුදුරුවන්ට. මේ කාලෙම ඉන්දියාවෙ බුද්ධ ගයාව බාරව හිටි මහන්තාගෙන් ඉල්ලගෙන ඇවිත් ශ්‍රීමහා බෝධියේ ශාඛාවක් මේ වළව්වේ පංසලේ හිටවන්නත් පුලුවන් වෙනවා... පංසලේ ස්වර්ණමය යුගයක් හැටියට කියවෙන්නේ මේ කාලෙ තමයි...

ඉතිං මුලින් මුදලි තුමා සහ පවුලේ උදවියටත් නෑ පිරිවරටත් විතරක් සීමා වෙච්ච වළව්වේ පංසල පහු පහු වෙද්දි;1800 දි පමණ සති පිරිත් පිංකම් සදහා අවට වාසී බෞද්ධයන්ටත් විවෘත වීමත් සමග පොදු පිංබිමක් බවට පත් වෙනවා..
මේ වළව්වේ පංසල තමයි කොටහේන "දීපදුත්තාරාමය"


මුදලිතුමාගෙ කාලෙන් පස්සෙ සෑහෙන කාලයක් යනකල් අභාවයට ගිය වළව්වේ පංසල නැවත නගා සිටුවන්නේ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවන් දීපදූත්තාරාමයට වැඩම කලාට පස්සෙ.

මුන්නාන්සේගේ කාලෙ දීපදුත්තාරාමයට අළුත් පෙනුමක් ලැබෙනවා..ඉන් අස්සෙ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ සටනේ කොළඹ මූලස්ථානයක් වෙන්නෙ කොටහේනේ දීපදුත්තාරාමයයි..
වෙසක් පෝය පොදු නිවාඩු දිනයක් බව මුල් වරට ප්‍රකාශ වෙන්නෙත් වර්ණ පහේ බෞද්ධ කොඩිය මුල් වරට එසවෙන්නෙත් දීපදුත්තාරාමයේදීමයි..
1823 මාර්තු මාසෙ දීපදුත්තාරාමයේ අළුතෙන් හදාපු බුදු ගේ විවෘත කරන උත්සවය සදහා පාළොස්වක පෝය දවසෙ (මාර්තු 23) උත්සවයක් පැවැත්වුවා. පොලිසියද දැනුවත් කොට බොරැල්ල පංසලේ සිට දීපදුත්තාරාමයට එන පෙරහැරක් සංවිධානය කරලා තිබුණත් අවසාන මොහොතේ එය නතර කරන ලෙස දන්වා තිබුණා..එහෙත් සූදානම් කරගෙන තිබුණ විදිහට පෙරහැර පිටත් වුණත් කොටහේන ශාන්තා ලුසියා පල්ලිය ගාවදි පෙරහැරට ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීනත් එක්කම බෞද්ධ කතෝලික දෙපිරිස අතර ගැටුම් ඇති වෙනවා..එහෙත් ගුණානන්ද හිමිගේ අවවාධ අනුව එය විසිර යන්නෙ මින් පස්සෙ පෙරහැර වලට එන විට මල් සැරසිලි ගෙදර තියෙන මෝල් ගහේ බැදන් එන ලෙස දන්වමිනුයි...

දීපදුත්තාරාමය තායි රජ පවුලේ නොමද අනුග්‍රහයට පාත්‍ර වෙච්ච විහාරයක්. තායි රජපවුලේ කුමාරයෙක් වුන ප්‍රිස්දාන් කුමරු 1896 දී වස්කඩුවෙව් ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පැවිදි වන්නෙ දීපදුත්තාරාමයේදීයි.

විහාරයේ අදටත් දක්නට ලැබෙන විශේෂ දෙයක් නම් ලාංකීය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් තායි සම්ප්‍රදායට ඉදි වුණු දාගැබයි. මෙහි බුද්ධගයාවට හුරු බවක් දකින්නත් පුළුවන්.



වැලිමළුවේ ඇවිද යනවිට තැන තැන දකින්න ලැබෙනවා තායි රජපවුලේ විවිධ අය විසින් සිටුවන ලද පැළ අසල පිහිටුවන ලද පුවරු. බොහෝ අය මෙහි සාමකාමී ලෙස වැඳුම්, පිදුම් කරනවා. ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ කොටහේනේ රථවාහන ඝෝෂාව අවටින් ඇසුණත්, සිනිඳු වැලි පයට පෑගෙන, මල්, හඳුන්කූරු සුවඳ හමන පන්සල ඇතුළත ශාන්තයි.

පංසලට යන විදිහ අමුණලා තියෙන සිතියමෙන් බලා ගන්න පුලුවන් වේවි.

කොළඹ වීදියකදී නැවත මුණගැහෙමු
-අමිල-




















Gallery






 

කොළඹ වීදියකදී.....15 - "කොළඹට වෙලාව කියන්නෝ"


නගරයකට ඔරලෝසු කණුවක් කියන්නෙ අභිමාණයක් ගෙනදෙන දෙයක්... නොඑක් වීදී අතරින් ඈතට පෙනෙන විදිහට ඔරලෝසු සවි කරලා තියෙන මේ ඔරලෝසු කණු වලින් වෙන්නෙ සුළුපටු සේවයක් නෙමේ... නගර වාසීන්ට සහ මගී ජනී ජනයාට වෙලාව දැක්වීම වගේම නගරයේ අලංකාරයටත් නොමද රුකුලක් දෙන්නෙ මේ ඔරලෝසු කණු...ලංකාවෙ ප්රධාන නගර හෑම එකකම පාහේ එකක් හෝ ඔරලෝසු කණු තියෙනවා...
එකකට වඩා ඔරලෝසු කණු ලබන්න කොළඹ නම් වාසනාවන්ත වෙලා තියෙනවා..දවස ගානෙ කොළඹ යන එන ඔබ මින් ඔරලෝසු කණු කීයක් දැකලා තියෙනවද?... දැකලා තිබුණත් අවම හෝ අවධානයක් මේවට දීලා තියෙනවද?
දැක්කත් , නොදැක්කත්, අවධානයක් දුන්නත්, නොදුන්නත් අද අපි ටිකක් කතා කරමු කොළඹට වෙලාව දක්වන මේ යෝධයන් ගැන....

අපි පටං ගමු කොළඹ නගරයේ කේන්ද්රස්ථානයක් වන ඕල්කොට් මාවතේ කොටුව ස්ටේසම ගාවින්...මම නිත්ය ප්රවාහණ මාධ්යයක් විදිහට කෝච්චියෙ පාවිච්චි පටං අරන් මේ ඔක්තොබර් වලට අවුරුදුදහයයි. සීසන් එකේ දින සටහන් වෙන්නෙ 2008 ඔක්තෝබර් 18 කියලා...ඉතිං ඒ කාලේ කොටුවෙන් තමයි කෝච්චියට නැග්ගේ..ඔය කාලෙ අන්තිම මිනිත්තුවටත් බස් එකෙන් බැහැලා දුවද්දි ඇහැ ඉබේම යන්නෙ කොටුව ස්ටේසමේ ඉස්සරහා අර්ධ වෘත්තාකාර කොටසෙ හයි කරලා තියෙන ඔරලෝසුවට.. 
 
ඒ ඔරලෝසුවට අනුව කෝච්චියට තව විනාඩියක් හරි තියෙනවා නම් මගෙ හිතට දැනෙන්නෙ පුදුම සැනසිල්ලක්.. මම ඒකෙන් කියන්න උත්සාහ කලේ මීට අවුරුදු දහයකට කලින් බලද්දි කොටුව ස්ටේසමේ ඔරලෝසුව ඉතාම නිවැරදිව වෙලාව කියපු එකක් කියන එකයි...හැබැයි පස්සෙ පස්සෙ ඒක වෙනස් වුණා... දැන් මම කොටුවෙන් කෝච්චියට නගින්නෙ නැති නිසා ඕකෙ වෙලාව හරිද වැරදිද කියන්න දන්නෙ නම් නෑ..අද තියෙන කොළඹ කොටුව ස්ටේසමේ ප්රධාන ගොඩනැගිල්ල 1906 ඉදිකලා සහ 1917 දි විවෘත කලා කියලා තමයි කියන්නෙ...එතෙක් මෙතෙක් ඔය ඔරලෝසුව කී කෝටියකට වෙලාව කිවුවද කියලා හිතන්න අමාරුයි...අද වෙනකොට දෛනිකව කොටුව ස්ටේසම පාවිච්චි කරනා ලක්ෂ දෙකක සාමාන්යයක් වූ මගීන් අතර ඔඅබත් මේ ඔඅරලෝසුව දිහා බලලා ඇති එක වතාවක්වත්...බලලා නැත්තම් හෙටවත් බලන්න :)

ඊලගට අපි යමු හරියටම කොටුව ස්ටේසම ඉස්සරහින් වරාය පැත්තට යන 'මල්වත්ත පාර' දිගේ..
 
මල්වත්ත පාර කෙලින් වීදියට ,සර් බාරොන් ජයතිලක මාවතට සහ බංගසාල වීදියට එකතුවෙන තැන තියෙන මංසන්ධියෙ තියෙනවා පරණ ගොඩනැගිල්ලක්. ඕකෙ බෝඩ් එකක් ගහලා තියෙනවා " විමළධර්ම සහෝදරයෝ:ජාතියට වෙලාව දක්වන්නෝ" කියලා... නෑ නෑ මේ කියන්න හදන්නෙ එයාල ගැන නෙමේ ඒ හරියටම විමලධර්ම එක ඉස්සරහා මංසන්ධියෙ තියෙන වටරවුම මැද තියෙන 'ඛාන් ඔරලෝසු කණුව' ගැන.
 
 
ඛාන් ඔරලෝසු කනුව මෙතැන ඉදි වෙන්නෙ 1923 දි. ඒකාලෙ සිට මෑත කාලයක් වෙනකල්ම ඔරලෝසු කණුව වටේ පොකුණක් තිබුණත් අද වෙනකොට ඒකෙ වතුර මල් ක්රියාත්මක වෙන්නෙ නෑ.මේ ඔරලෝසු කණුවේ පහත කොටසෙ සදහන් වෙනවා මෙන්න මෙහෙම "This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death." 
 

 
 කොළඹ නගරයේ පාරවල් කියද්දි 'ලෑන්ඩ් මාර්ක්' එකක් විදිහට පාවිච්චි වෙන මේ ඔරලෝසු කණුව අද වෙනකොට විමලධර්ම සහෝදරයෝ සමාගමෙ අනුග්රහයෙන් නඩත්තු වෙනවා.
 
 
අපි මේ ගමන්ම ඔය හන්දියෙන් වම්පැත්තට සර් බාරොන් ජයතිලක මාවත දිගේ ගිහිං ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගාවින් වම් පැත්තට "යෝක් වීදිය" දිගේ ඇවිත් අස්සයා පිටේ පොලිස් රාලහාමි ඉන්න තැනින් පාරත් පැනලා "චැතම් වීදිය" දිගේ මහ බැංකුව පැත්තට යන්න තියෙන පාර දිගේ යමු. 
 
ඒ ගිහාම චැතම් වීදිය ජනාධිපති මාවත හමු වෙන මංසන්ධියේ තියෙනවා 'ලයිට් හවුස් ඔරලෝසු කණුව'.
 
කොළඹ දැනට ඉතිරි වෙලා තියෙන පරණම ඔරලෝසු කණුව තමයි මේක.1860 දි හදපු මේ ඔරලෝසු කණුවෙ ;1865 දි ප්රදීපාගාරයක පහනක් සවි කරන්නේ කොළඹ වරායට එන නැවුවලට පාර කියන්න.බිග් බෙන් ඔරලෝසුවේ නිෂ්පාධකයන් විසින්ම නිෂ්පාධිත මුල් ඔරලෝසුව 1913 දි ඉවත් කරලා අළුත් ඔරලෝසුවක් සවි කරනවා. පසු කාලීනව ඉදි වුණ උස් ගොඩනැගිලි නිසා මෙම ඔරලෝසු කණුවේ ප්රදීපාගාරය නොපෙනී යන්න වුණ නිසා ගල්බොක්ක වීදියේ/ගෝල්බක් ස්ට්රීට් හි ඉදි වුණ ප්රදීපාගරයෙන් ඒ රාජකාරිය කරන්න පටං ගත්තා. 1970 දශකය වන තෙක් වෙනස් ස්වරූපයකින් වර්ණ ගන්වා තිබුණ මෙම ඔරලෝසු කණුව අද දකින්න ලැබෙන්නෙ ඒ ස්වරූපයෙන් නෙමේ.
 
 
ඊට අමතරව 70 දශකයේ , ඔරලෝසුවේ පහල තියෙන අර්ධ වෘත්තාකාර දොරටුවට ඉහලින් ජාතික කොඩියේ සිංහ ලාංචණය සහ පුන් කලසක් පින්තාරු කොට තිබී තිබෙනවා.අද වෙනකොට එයත් දකින්න ලැබෙන්නෙ නෑ.ඔරලෝසු කණුවේ ඉහලට යන්න නම් බෑ.
 
ඔහොමම ජනාධිපති මාවත දිගේ ඇවිත් වම් පැත්තට ලෝටස් පාර දිගේ ඇවිත් රීගල් වටරවුමත් පහු කරං ලේක් හවුස් එක ගාවින් ඩී.ආර් විජේ වර්ධන පාරෙන් ගිහිං ගාමිණී හෝල් හන්දියෙන් වම් පැත්තට උඩහට යමු. ඒ ගිහාම හම්බ වෙන්නෙ මරදාන හන්දිය.මරදාන හන්දියෙ ඉදන් වටපිට බලද්දි පේනවා මරදාන ස්ටේසමේ ප්රධාන ගොඩනැගිල්ලේ ඉස්සරහා ප්රෞඩ විදිහට පාර බලාගෙන ඉන්න ඔරලෝසු කණුව. 
 
ඔරලෝසුවට යටින් 'මරදාන' කියලා ලියලා තියෙනවා.ලංකාවේ මුල්ම ස්ටේසම ඉදි වෙන්නෙත් මරදාන ස්ටේසම අසල. ඒ 1864 දි. 1906 දි ඒ පරන ස්ටේසම වහලා තමයි මරදාන දැන් තියෙන ස්ටේසම හදන්නෙ. එදා සිට මෙදා තෙක් මරදාන ස්ටේසමේ ඉදන් මේ ඔරලෝසුවෙන් වෙලාව කියනවා. ලිපිය පටං ගනිද්දි මම කිවුවා කොටුවෙ ඔරලෝසුව මට ප්රයෝජනවත් වෙච්ච විදිහ. ඒ වගේම තමයි 2013 ඉදලා මරදාන ස්ටේසම පාවිච්චි කරන්න ගත්තම මේ ඔරලෝසුව පිහිට වුණේ.ටවුන් හෝල් වල ඉදලා ඇවිත් , ගාමිණී හෝල් වලින් බැහැලා කෝච්චියට දුවද්දි ඇතින් පේන මේ ඔරලෝසුව දිහා තමයි එදා ඉබේම බැලුණේ. ඒ කාලෙ හරියට වෙලාව කියපු මේ ඔරලෝසුව අද නම් වෙලාව කියන්නේ වැරදියට.මරදාන ස්ටේසමේ නිලධාරීන්ට ඔරලෝසුවක් දිහා බලනවට වඩා වැඩ රාජකාරි ඇති කියලා හිතලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අපි.වෙලාවකට හිතෙනවා හැමදාම කෝච්චි පරක්කු වෙන්නේ මේ වැරදියට වෙලාව කියන ඔරලෝසු දිහා බලන් කාල සටහන් හදන නිසා කියලත් :D :D :D .
මේ ඔරලෝසු කණුව ගැන කියද්දි මට වෙච්ච සිද්දියක් මතක් වෙනවා...ඒ කාලේ මම ඔඩිට් ෆර්ම් යනකොට ඒකෙම වැඩ කරපු කැළණිය විශ්වවිද්යාලයේ ඉගෙන ගත්ත මගෙ යාලුවෙකුත් එක්ක මම දවසක් මරදානෙන් කෝච්චියෙ නගින්න ආවා(මරදාන කිට්ටුව ඔඩිට් එකක් ඉවර වෙලා) . මිනිහට පුරුදු ඉතින් ඩාර්ලි පාරෙ ඇවිත් ගාමිණී හෝල් හරහා ස්ටේසමට එන්න.එදා පාරෙ ලොකු බ්ලොක් එකක් නිසා බස් එක ඩාර්ලි පාරෙ එනවා වෙනුවට අතුරු පාරකින් දාලා ඩීන්ස් පාරෙන් තමයි ගියෙ.මට ඊ කාලෙත් ඔඅය පාරවල් පුරුදු වුණාට ඩාර්ලි පාර විතරක් හුරු මගෙ යාලුවා කියවනවා ඉවරයක් නෑ මේ කොහෙද බං යන්නෙ කියලා. පාර දිගේ එනකල් මට මේකගෙ කන්දොස්කිරියාවෙං ගැලවිල්ලක් වුණේ නෑ.අන්තිමට බස් එකෙනුත් බැහැලා මූ කියෝනවා..තව ටිකක් ඉස්සරහට මේකගෙ කරච්චලේ ඉවසං ඇවිත් 'කියවන්නෙ නැතිව අර බලපිය' කියලා මම පෙන්නුවෙ ඈතට පේන ස්ටේසමේ ඔරලෝසුව.ඔරලෝසුවට යටින් තියෙන 'මරදාන' දැක්කම තමයි මේකගෙ කරච්චලේ නැවතුණේ......
 
මරදානෙ ස්ටේසමේ ඉස්සරහින් ඇතුළු වෙච්ච අපි ඇතුලට ගිහින් සියළුම අතුරු මගී පාලම් සහ වේදිකා යා කරන ප්රධාන මගී පාළම දිගේම ඉස්සරහට ගිහිං ස්ටේසමේ අනිත් පැත්තෙන් පංචිකාවත්ත පාරට යමු.පංචිකාවත්ත පාරෙ එල්ෆින්ස්ටන් තියටර් එක , බුහාරි හෝටලය එහෙම පහු කරං ඉස්සරහට යද්දි වම් පැත්තෙ හම්බ වෙනවා 'ටවර් හෝල් තියටර්' එක. 
 
ටවර් හෝල් තියටර් එකට නම වැටෙන්නම හේතු වුණ මේ ටවර් එකේ උඩ කොටසෙ තියෙනවා ඔරලෝසු හතරක්..
 
පැති හතරේ.1880 දි අශ්ව ඉස්තාලයක් තිබ්බ බිමක ටවර් හෝල් තියටර් එක හදන්නේ ජී.ඩී.හෙන්ද්රික් අප්පුහාමි සෙනෙවිරත්න මහතා විසින්. 1880 ඉදන් සියවසකට වැඩි කාලයක් තිස්සෙ ටවර් හෝල් ඔරලෝසු කණුවෙ ඔරලෝසු වලින් , මරදානෙ ස්ටේසමේ ඔරලෝසු කණුව වගේම මරදාන වාසීන්ට සහ මගී ජනීජනයාට වගේම නාට්ය බලන්න එන ප්රේක්ෂකයන්ටත් වෙලාව කියනවා.
 
 
ආපහු ඔරාබිපාෂා මාවත නොහොත් මරදාන පාරට ඇවිත් ඩීන්ස් පාර දිගේ සොයිසා වටරවුමට යමු.සොයිසා වටරවුමෙ තියෙනවා ඔරලෝසු හතරක් සහිත ඔරලෝසු කණුවක්. මේක නම් එතරම් පරණ ඔරලෝසු කණුවක් නෙමේ. 
 
 
ඒ නිසා අපි එහෙමම සොයිසා වටරවුම පහු කරලා 120 බස් පාරෙ ගිහින් නෙළුම් පොකුණ ගාවින් වම් පැත්තට නිදහස් මාව්තේ යද්දි ,නිදහස් චතුරශ්රය පහු වෙනවත් එක්කම පේනවා කොළඹ මට මතක අන්තිම ඔරලෝසු කණුව.ඒ ,පරණ 'ජාවත්තේ පිස්සු වාට්ටුව' (1889 සිට 1926 අංගොඩට ගෙන යන තෙක් ) සහ ඊට පස්සෙ ලංකා යුනිවර්සිටි කොලීජිය සහ ඊටත් පස්සෙ රේඩියෝ සිලෝන් (ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව )ට අයිති වෙලා තිබුණ ගොඩනැගිල්ලෙ .
 
කාටත් තේරෙන බාසාවෙන් කිවුවොත් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලේ.මතක් වුණා නේද?... මේ ඔරලෝසු කණුවෙන් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලට ලබා දෙන්නෙ සුලු පටු ලස්සනක් නෙමේ...හතර පැත්තට ඔරලෝසු හතරක් තියෙනවා මේ ඔරලෝසු කණුවෙත්....
 

ඉතිං මෙච්චරයි මට මතක කොළඹ තියෙන ඔරලෝසු කණූ...ඔයාලට මතක තියෙනවනම් සඳහන් කරන්න කියන ගමන් සහ කලින් අවධානයක් නොදුන්නනම් අනිත් දවසෙ මේ කියන තැන් වලින් යද්දි පොඩ්ඩක් ඒ ඔරලෝසු කණු දිහා බලලා යන්න :) :) ... 
 
 

කොළඹ වීදියකදී නැවත හමු වෙමු..
- අමිල -

another chapter..........

The Terminal.....

පැයක් දෙකක් නැත්තම් තුනක් එයාපෝට් එකක ඉන්න වුනොත් කොච්චර අපහසු අප්‍රියකර දෙයක්ද... මට උපරිම එයාපෝට් එකක බලන් ඉන්න වුනේ චෙන්නයි එයාපෝට් ...

popular chapters